Menu Close

2019 වර්ෂයේ අග භාගයේ දී ලොව පුරා ව්‍යාප්තිය ඇරඹූ කොරෝනා වෛරසය අද වන විට ගෝලීය වසංගතයක් බවට පත්වෙමින් මිලියන 180 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් ආසදනය කරමින්, මිලියන 3.9 කට අධික රෝගීන් සංඛ්‍යාවක් මරණයට පත් කරමින් ලොව පුරා රටවල් 220 ව්‍යාප්ත වී ඇති බව නොරහසකි.

මෙම කොරෝනා වෛරසයේ මූලාරම්භය සහ මෙතරම් කෙටි කාලයක් තුල දී මෙම වෛරසය සිදු කල හානිය පිළිබඳව විවිධාකාරයේ මතවාදයන් වර්තමානයේ වඩාත් කතා බහට ලක් වෙමින් පවතී. සැබැවින්ම මෙම SARS-CoV-2  වෛරසයේ මූලාරම්භය කෙසේ සිදු වීද? මෙය අප සැම විසින්ම විමසා බැලිය යුතු කරුණකි. 

සමස්තයක් වශයෙන් සැලකූ විට, SARS-CoV-2 වෛරසය, “කොරෝනා වෛරස” නම් විශාල වෛරස් පවුලට අයත් වේ. මෙම වෛරස පවුල ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා යන උප කාණ්ඩ හතරකින් සමන්විත වේ. මිනිසුන්ට වැළඳීමේ ප්‍රවණතාවය සහිත වෛරස කාණ්ඩ ලෙස ඇල්ෆා සහ බීටා කාණ්ඩ දැක්විය හැකිය අතර මෙම කාණ්ඩ දෙකට අදාලව මිනිසුන්ට ආසාදනය විය හැකි කොරෝනා වෛරස් ප්‍රභේද හතක් මේ වන විට සොයා ගෙන ඇත. 2003 වර්ෂයේ දී චීනයේ ව්‍යාප්ත වූ  SARS-CoV වෛරසයත්, 2012 වර්ෂයේ දී මැද පෙරදිග ව්‍යාප්ත වූ MERS-CoV වෛරසයත්, වර්තමානයේ ව්‍යාප්ත වන්නා වූ SARS-CoV-2 වෛරසයත් ඇතුළුව මිනිසුන් සහ විවිධ සතුන් ආසදනය කරනු ලබන නොයෙක් කොරෝනා වෛරස් ප්‍රභේද මේ වන විට හඳුනා ගෙන ඇත. මිනිසුන් ඇතුළු පෘෂ්ඨවංශී සතුන් හට රෝග ඇති කිරීමේ රෝග කාරකයක් ලෙස මෙම කොරෝනා වෛරස පවුල සුවිශේෂී ස්ථානයක් අත් කරගනී. මිනිසුන්ගේ පමණක් නොව පක්ෂීන්, වවුලන්, මීයන් සහ බොහොමයක් සතුන්ගේ ශ්වසන මාර්ගය, ආහාර මාර්ගය, අක්මාව ආශ්‍රිත ප්‍රදේශ සහ මධ්‍යම ස්නයු පද්ධතිය අසාදනය කිරීමට මෙම වෛරස ප්‍රභේදයන්ට හැකියාවක් පවතී. ඉහත සඳහන් කල සතුන් අතරින් වවුලන්, SARS සහ MERS වෛරසයන්හි ප්‍රධාන ධාරකයෙක් ලෙස සඳහන් කල හැක.

මෙම වෛරසයන්ට, සතුන්ගෙන් මිනිසුන්ට සහ මිනිසුන්ගෙන් මිනිසුන්ට ප්‍රචාරණය වීමේ හැකියාව ලබා ගත හැකි අතර, එය zoonotic spillover ලෙස හැඳින්වේ. විශාල රෝග කාරකයින් ගහණයක්  රැගත් සත්ත්ව ගහණයක් (උදාහරණයක් ලෙස වවුල් ගහණයක්) නව ධාරකයන් (උදාහරණයක් ලෙස මිනිසුන්) සමඟ ගැටීමේදී ඇතිවන්නා වූ තත්වය  Zoonotic spillover event ලෙස හඳුන්වයි. නමුත්, මෙම රෝග කාරක සත්ව විශේෂය සමඟ ගැටීමෙන් පමණක්ම මෙම  රෝගය ව්‍යාප්ත වන බවට පැවසිය නොහැක.

කෙසේවෙතත්, සතුන්ගෙන් මිනිසුන්ට වෛරස රෝගයක් ප්‍රචාරණය වීමේදී එම ප්‍රචාරණය වන වෛරසය තුල විකෘතියක් වැනි වූ  සුවිශේෂී පරිණාමික වෙනස් වීමක් සිදුවිය යුතුය. එම ගැටීමෙන් මෙම නව ධාරක විශේෂය තුල මෙම රෝගය පැතිරීම සම්භාවිතවක් මෙන්ම නොපැතිරීමේ සම්භාවිතවයක්ද පවතී. එසේ නොවේ නම්, එම වෛරස ප්‍රභේදය සත්ව විශේෂ තුළ ව්‍යාප්තව පැවතියද මිනිසුන් රෝගී කිරීමේ අවදානම පහළ මට්ටමක පවතී. 

පර්යේෂණ කණ්ඩායම

2019 වර්ෂයේ ආරම්භ වූ SARS-CoV-2 වෛරස ව්‍යාප්තියත් සමඟ කොරෝනා වෛරසය සහ වවුලන් අතර ඇති සබඳතාව පිළිබඳ වඩාත් කතා බහට ලක් විය. කෙසේ වෙතත් 2019 වර්ෂයේ මෙම වෛරසය ව්‍යාප්තිය ආරම්භයටත් පෙර සිටම, 2017 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨය, ජර්මනියේ Robert Koch Institute ආයතනය සමඟ සම්බන්ධ වෙමින් ඇරඹූ පරීක්ෂණ ගණනාවකින් මෙම සබඳතා පිළිබඳ ශ්‍රී ලංකාවට අදාලව නවතම තොරතුරු රාශියක් අනාවරණය කර ගෙන ඇත. 

වවුලන් (Chiroptera) යනු විශාල වූ විශේෂ විවිධත්වයක් ඇති ක්ෂීරපායී සත්ත්ව කොට්ඨාශයකි. ශ්‍රී ලංකාවේ ජීවත් වන වවුල් ගහන අතරින් Yinpterochiroptera සහ  Yangochiroptera යන උප ගහනයනට අදාල විශාල සමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ වාසය කරන අතර එය ශ්‍රී ලංකාවේ ක්ෂීරපායින් අතරින් 13 පමණ ප්‍රමාණයක් ආවරණය කරයි. මෙම වවුලන්ගේ විශේෂ විවිධත්වය, දිගු දුර පියඹායාමට ඇති හැකියාව, සංක්‍රමණ ආකාරය සහ වාසස්ථාන ඇතුලු වූ ඔවුනටම සුවිශේෂී වූ ලක්ෂණ ස්වභාවිකවම ඔවුන් වෛරස ධාරකයන්  බවට පත් කර ඇත. මෙකී හේතු කාරණා නිසා වෛරස සහ වවුලන් අතර වූ සහ-පරිණාමය සහ වවුලන්ගෙන් මිනිසුන්ට වන රෝග සම්ප්‍රේෂණය පිළිබඳ අධ්‍යනය වෛරසවිද්‍යාවේ වැදගත් අංශයක් බවට පත් වී ඇත. 

තවදුරටත්, මෙම වෛරස සම්ප්‍රේෂණ යාන්ත්‍රන සහ වෛරස-ධාරක සම්බන්ධතාවය පිළිබඳ වූ දැනුම ප්‍රතිවෛරස ඖෂධ සහ එන්නත් නිපදවීම මෙන්ම අනාගත වසංගත තත්ත්ව වලට මුහුණදීම සඳහා ද මනා පිටිවහලක් වේ.

වවුලන් අතර වූ විශාල විශේෂ විවිධත්වය පිළිබඳව සලකා බැලීමේදී වවුල්-කොරෝනා වෛරස් ප්‍රභේද ශ්‍රී ලංකාවේ වවුල් විශේෂ අතරත් පැවතිය හැකි බවට අප පර්යේෂණ කණ්ඩායම විසින් සාර්ථකව අනුමාන කරනු ලැබුවා. එයට හේතු කරණා වන්නෙ වවුලන් මෙම වෛරස කාණ්ඩයේ ප්‍රධාන ධාරක විශේෂයක් ලෙස දැක්විය හැකිවීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොස්ලන්ද ප්‍රදේශයේ වවුල් ගල්ගේ ගුහාව ආශ්‍රිතව මෙම පරීෂණ කටයුතු මෙහෙයවා ඇති අතර 2018 සහ 2019 වර්ෂයන් තුළ අල්ලා ගන්නා ලද Miniopterus, Rousettus, Hipposideros, සහ Rhinolophus විශේෂ වලට අයත් වවුලන් 395 දෙනෙකු යොදා ගනිමින් නොයෙකුත් පරීක්ෂණ මෙම පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කරනු ලැබ තිබෙනවා. ලබා ගන්නා ලද සාම්පල nested PCR සහ විවිධ අණුක තාක්ෂණ ක්‍රමවේද භාවිත කරමින් වවුල්-කොරෝනා වෛරස් ප්‍රභේද අඳුනා ගැනීමට උත්සාහ කර තිබෙනවා. මෙම පරීක්ෂණය අවසානයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇල්ෆා සහ බීටා කාණ්ඩයන්ට අයත් වවුල්-කොරෝනා ප්‍රභේද M. fuliginosus සහ R. leschenaultii යන වවුල් විශේෂයන් ගෙන් සොයා ගැනීමට පර්යේෂණ කණ්ඩායම සමත් වී තිබෙනවා. පර්යේෂණ ප්‍රතිඵල අනාවරණය කරන පරිදි මෙම හඳුනාගත් වවුල්-කොරෝනා වෛරස් ප්‍රභේද මෙම වවුල් විශේෂය සඳහා ධාරක විශිෂ්ඨ වන අතර අන්තර් විශේෂ සම්ප්‍රේෂණ තහවුරු කර නොමැත.

මෙම ප්‍රතිඵල මඟින් සනාථ කරන පරිදි ඉහත සඳහන් වවුල් විශේෂ පමණක් මිනිසුන්ට හානිදායක වූ SARS-CoV වෛරස් ප්‍රභේද සඳහා ස්වභාවික රෝගකාරකයක් විය හැකි බවත් එසේ විය හැක්කේ පාරිසරික බලපෑමක් සහ මිනිසුන් මෙම වවුලන්ගේ වාසස්ථාන වලට බලෙන් ඇතුලු වීමෙන් ඇති කරන තත්ත්වයෙන් බවත් පර්යේෂණ කණ්ඩායම විසින් වැඩිදුරටත් අවධාරණය කරනවා.   

මෙම පරීක්ෂණය අනුව වවුලන් පිළිබඳ අධ්‍යනය, ඔවුනට වැළදෙන වෛරස පිළිබඳ අධ්‍යනය සහ ඔවුන්ගේ වාසස්ථාන පිළිබඳ අධ්‍යනය අනාගතයේ දී වැළදිය හැකි රෝග තත්ත්වයන් වලක්වා ගැනීමට මනා පිටිවහලක් වන බව නොඅනුමානය. මෙම පරීක්ෂණය මෙහෙයවන ලද්දේ ජර්මනියේ රොබට් කොච් ආයතනයේ පශ්චාත් උපාධි අපේක්ෂිකා තෙරේසේ මුසනික්, කොළඹ විශ්ව විද්‍යාලයේ, ජෛවරසායන, අණුක ජීව විද්‍යා සහ ජෛවතාක්ෂණ ආයතනයේ  පශ්චාත් උපාධි අපේක්ෂිකා තේජානි පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා සහ පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජර්මනියේ රොබට් කොච් ආයතනයේ සම්බන්දතාවයෙන් ක්‍රියාත්මක වන Identification of Emerging Agents (IDEA) විද්‍යාගාරයේ, මහාචාර්ය සුනිල් ප්‍රේමවංස, මහාචාර්ය විපුල යාපා, මහාචාර්ය ඉනෝක පෙරේරා සහ සහන් සිරිවර්ධන මහතා සමග උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය ගයනි ප්‍රේමවංස යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසකගෙන් සැදුම්ලත් පර්යේෂණ කණ්ඩායමක් විසිනි. මෙවන් වූ සුවිශේෂී පරීක්ෂණයක නියලෙමින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත් මෙම පරීක්ෂණ කණ්ඩායමට කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ අප සැමගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටින අතර වර්තමානයේ මෙන්ම අනාගත්යේදීද අප මුහුනපානා විවිධාකාර වූ ගැටලු විසඳීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ මනා පිටිවහලක් වන බව මෙම පර්යේෂණයද කදිම උදාහරණයක් බවට නිහතමානී ආඩම්බරයකින් යුතුව මතක් කරන්නෙමු.

References:

Muzeniek, T., Perera, T., Siriwardana, S., Bas, D., Kaplan, F., Öruc, M., Becker-Ziaja, B., Schwarz, F., Premawansa, G., Premawansa, S., Perera, I., Yapa, W., Nitsche, A., & Kohl, C. (2021). Detection of Alpha- and Betacoronaviruses in Miniopterus fuliginosus and Rousettus leschenaultii, two species of Sri Lankan Bats. Vaccines, 9(6), 650. https://doi.org/10.3390/vaccines9060650

Image courtesy:

Title image: https://indiabiodiversity.org/biodiv/img/Rousettus%20leschenaulti/988_gall.jpg

Content image: Ms. Thejanee Perera.

කර්තෘ: නිමේෂා එදිරිසිංහ.

Written By: Sandani Liyanage