Menu Close

චන්ද්‍රිකා කේන්ද්‍රණ තාක්ෂණය මගින් හෙළිවන පක්ෂී සංක්‍රමණික මාර්ග -පර්යේෂණ සටහන 03: බොර-හිස ගලුවියාගේ (Brown-headed Gull, Chroicocephalus brunnicephalus) හිමාල තරණය - 2022

ශ්‍රී ලංකාවේ පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයන්ගේ තවත් එක් කඩඉමක් සනිටුහන් කරමින්, මන්නාරම් තොටේදී අප විසින් අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද (satellite-tagged) බොර හිස ගලුවියෙකු (Brown-headed Gull), සංක්‍රමණික පක්ෂීන්ගේ විස්මයජනක හිමාල තරණයට දෙවන වරටද සාක්ෂි දරමින්, පසුගියදා තම උතුරු සංක්‍රමණය අවසන් කරන ලදී.

ශ්‍රී ලංකාවට සංක්‍රමණය කරන බොර හිස ගලුවියන් තම වාර්ෂික සංක්‍රමණයේදී මෙවන් අසීරු හිමාල තරණයක යෙදෙන බව පළමු වරට හඳුනාගනු ලැබුවේ, පසුගිය වසරේ අප විසින් මෙලෙසම සලකුණු කරන ලද, ‘හිම කුමාරි’ ලෙස නම් ලද, බොර හිස ගලුවියෙකු ආශ්‍රයෙනි. මේ අනුව, හිමාලයෙහි ඉහළම කඳු මුදුන් හරහා පියාසර කරන බවට (චන්ද්‍රිකා කේන්ද්‍රණ තාක්ෂණය ඔස්සේ) හඳුනාගෙන ඇති සංක්‍රමණික පක්ෂීන් අතළොස්සෙන්, සිව්වැන්නා සහ කුඩාම පක්ෂි විශේෂය ලෙස අප බොර හිස ගලුවියන් ඉතිහාසයට එක් වේ.

මෙම සොයාගැනීමෙන් වසරකට පසු, පසුගිය මාර්තු 30 වනදා තලෙයිමන්නාරමේදී අප විසින් තවත් එක් බොර හිස ගලුවියෙකු අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ තාක්ෂණය ඔස්සේ සලකුණු කරන්නට යෙදිණි. තම උතුරු සංක්‍රමණය අරඹන්නට ප්‍රථම, මාස එක හමාරක කාලයක් පුරා මන්නාරම පුරා විහිදුනු විවිධ තෙත්බිම් යාකරමින් සැරිසැරූ මොහු, අවසානයේදී පසුගිය මැයි 14 දින ශ්‍රී ලංකාවෙන් පිටත් විණි. ශ්‍රී ලංකාවේ උතුරු දිග ඉරනතිවු දූපත හා පේදුරු තුඩුව පසුකරමින්, අප බොර හිස ගලුවියා ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට 15 වනදා පාන්දර ලඟාවන ලද්දේ, තම ගමනේ පළමු අදියර සම්පූර්ණ කරමින් කිලෝමීටර් 900ක දුරක් නොනවත්වා පියාසර කරමිනි.

නැගෙනහිර ඉන්දියාවේ පිහිටි අන්ද්‍ර්‍රා ප්‍රදේශ්හි ගෝදාවරී නදියෙහි (Godavari River), එළඹෙන දිවා කාලය ගත කළ අප ගලුවියා, 15 වනදා රාත්‍රියේ ඉන් නික්මී පුරා පැය විසි හතරක් පියාසර කරමින්, 16 වෙනි දින රාත්‍රියේ බිහාරයට (Bihar) ඇතුළු විණි. ඒ කිලෝමීටර් 1200ක විස්මිත පියාසැරියක යෙදෙමිණි. මෙලෙස තම ගමනේ දෙවන භාගය නිම කළ අප ගලුවියා, බිහාරයේ පැට්නා (Patna) හරහා දිවෙන ගංගා නදියෙහි (Ganges River) දින දෙකක කාලයක් (මැයි 17-18) නවාතැන් ගන්නා ලදී.

ඉනික්බිතිව එළඹෙන ලද්දේ ඔහුගේ ගමනේ අවසන් සහ වඩාත්ම අභියෝගාත්මක අදියරයි. ගංගා නදියෙන් නික්මී, ඊසාන දෙසට පියාසර කරමින් ඉන්දු-නේපාල දේශසීමාව පසු කළ අප ගලුවියා, මැයි 18 මධ්‍යම රාත්‍රියේදී නේපාලයේ කත්මන්ඩු නුවරට (Kathmandu – Nepal) නැගෙනහිරින් හිමාල කඳුවැටියට ඇතුල් විණි. හිමාලයේ Cho Oyu කඳු මුදුන (8188 m – 27,300 ft වූ ලොව හයවන උසම කන්ද) සහ Gyachung Kang කඳු මුදුන (7952 m – 26,510 ft) හරහා අප ගලුවියාගේ පියාසර මාර්ගය දිවුණි. මෙලෙස ඇදහිය නොහැකි තරම් ඉහළ උන්නතාංශයන් ඔස්සේ දිවුණු ඔහුගේ ගමන් මාර්ගය, ලොව උසම කඳු මුදුන වූ එවරස්ට් කඳු මුදුනට (Mount Everest) කිලෝමීටර් 20 ක් තරම් ආසන්නයෙන් වැටී තිබීම මෙම ගමනේ සුවිශේෂීම ලක්ෂණය වේ.

මෙයට වසර 69 කට පෙරාතුව මැයි මාසයක, එනම් 1953දී, ලොව මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම ගවේශකයන් යුවළක් වන නවසීලන්ත ජාතික ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි (Edmund Hillary) සහ ඔහුගේ සහයක නේපාල කඳුකර වාසි ෂර්පාවරයකු වූ ටෙන්සිං නෝර්ගේ (Tenzing Norgay), මිහිපිට එතෙක් කිසිදු මනුෂ්‍යයකු සිදුනොකළ එවරස්ට් තරණය, මේ හිම තලාව ඔස්සේම සිදු කරමින් සිටියහ. එයින් දින කිහිපයකට පසු, ඔවුන් ඉතිහාසයේ ප්‍රථම වරට හිමාලය තරණය කළ වීර පුරුෂයන් බවට පත්වුණි. නේපාල කඳුකර වාසි Sherpa Tenzing Norgay සිහිකරමින්, අපගේ ගලුවියා ‘ෂර්පා ටෙන්සිං’ ලෙස නම් කරන ලදී (‘Sherpa’ යන්නෙහි කෙටි අරුත කඳු නගින්නා නම් වේ).

මෙලෙස අප ‘ෂර්පා ටෙන්සිං’, මීටර් 7600 (අඩි 24,930) ක උසින් හිමාල තරණය අවසන් කරමින්, 19 වැනිදා අළුයම ටිබෙට් සානුවට ළගා වුණි. එදින මධ්‍යහ්නය තෙක්ම නොනැවතී පියාසර කළ ‘ෂර්පා ටෙන්සිං’, ඉනික්බිතිව ටිබෙට් සානුව හරහා දිවෙන Yarlung Zangbo නදියෙහි (බ්‍රහ්මපුත්‍ර ගඟේ (Brahmaputra River) අතු ගංගාවකි) නවාතැන් ගන්නා ලදී. ඔහුගේ ගමනේ මෙම අවසන් අසීරු අදියර, කිලෝමීටර් 550ක පමණ දුරකින් සමන්විත විණි.

2022 මැයි 14 දින ශ්‍රී ලංකාවේ මන්නාරමෙන් පිටත්ව, ලොව උසම කඳු මුදුන් කැටිකොටගත් හිමාල කඳු පන්තියද තරණය කරමින්, මැයි 18 දින ටිබෙටයෙහි තම අභිජනන බිම කරා එළඹුණු ‘ෂර්පා ටෙන්සිං’ නමැති අප බොර හිස ගලුවියා, තම උතුරු සංක්‍රමණ චාරිකාව තුළදී ගමන් කළ මුළු දුර කිලෝමීටර 4,840 වන අතර ළඟාවූ ඉහළම උන්නතාංශය විස්මිත අඩි 24,930 ක් වේ!

මෙම පර්යේෂණය මෙහෙයවනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායමට මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න (Principal Investigator), මහාචාර්ය සරත් කොටගම සහ ආචාර්ය උපාධි අපේක්ෂිකා ගයෝමිණි පනාගොඩ යන අය ඇතුළත් වේ. මෙම පර්යේෂණය සඳහා දායකත්වය (මහාචාර්ය කාඕ ලී මහත්මිය ප්‍රධාන) Research Center for Eco-Environmental Sciences – Chinese Academy of Sciences, Palmyrah House (Pvt) Ltd, Vayu Resort සහ Wetlands International යන ආයතනයන්ගෙන් සපයනු ලැබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවද මෙම පර්යේෂණය සඳහා සහයෝගීතාවය සපයන රාජ්‍ය ආයතන වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යනාංශයේ, අප පර්යේෂණ කණ්ඩායම ප්‍රධාන තෙවන වසර සත්ත්ව විද්‍යා (විශේෂ) පාඨමාලාව හදාරන අයේෂ්මා, තාරුකා, තාරුක, ජනනි, ප්‍රභාෂිනි සහ පවනි යන සිසුන්ගෙන් සමන්විත වූ කණ්ඩායම විසින්, ‘ෂර්පා ටෙන්සිං’ව පසුගිය මාර්තු මාසයේදී චන්ද්‍රිකා කේන්ද්‍රණ තාක්ෂණය ඔස්සේ සලකුණු කරන ලදී.