Menu Close

සහල්වල අඩංගු පෝෂණ සංඝටක පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා රසායන විද්‍යාත්මක ප්‍රවේශයක්

බොහෝ ආසියාතික රටවල ප්‍රධාන ආහාරය වන සහල්, අත්‍යවශ්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය රැසක පෝෂණ මූලාශ්‍රය ලෙස සැලකිය හැක. කෙසේ වෙතත්, එසේ ඉරිඟු, තිරිඟු, සහල් සහ මඤ්ඤොක්කා ආදිය ප්‍රධාන ආහාරය වශයෙන් ලබාගන්නා රටවල ක්ෂද්‍රපෝෂක ඌනතාවය ද සුලබ ව දක්නට ලැබේ. එම ආහාර ශක්තිජනක වුව ද ඒවායේ ශරීරයට අත්‍යශ්‍ය මූලද්‍රව්‍ය පවතින්නේ අඩු වශයෙනි.

වැඩිදියුණු කරන ලද, සාම්ප්‍රදායික සහ ආනයනය කරන ලද ආදී වශයෙන්, අනන්‍ය වූ පෝෂණ වටිනාකම්වලින් යුත් පුළුල් විවිධත්වයක සහල් වර්ග ශ්‍රී ලංකාවේ වෙළදපොළේ දක්නට ලැබේ. සහල් ඇටයේ ප්‍රමාණය (දිගෙන් වැඩි සහ අඩු), පොත්තේ පැහැය (රතු සහ සුදු) සහ සකස්කිරීමේ ක්‍රියාවලිය (නිවුඩු සහිත, තම්බන ලද සහ ඔපදමන ලද) යන කරුණු මත මෙම සහල් වර්ග එකිනෙකට වෙනස් වේ.

කර්මාන්ත අපද්‍රව්‍ය සහ ගුණාත්මකභාවයෙන් අඩු කෘෂිරසායනද්‍රව්‍ය (විෂ සහිත අපවිත්‍රකාරක අඩංගු) භාවිතය වැනි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සහල් සමඟ ආසනික්, ඊයම්, කැඩ්මියම්, රසදිය, ක්‍රෝමියම්, නිකල් ආදී විෂ සහිත මූලද්‍රව්‍ය මිශ්‍ර වීම පිළිබඳ අද වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ව තිබේ. මීට අමතර ව දේශගුණික තත්ත්ව, භූ ලක්ෂණ, සහල් වර්ගය, පසේ භෞතික හා රසායනික සාධක, අංශුමාත්‍ර මූලද්‍රව්‍යවල ස්වභාවික සුලබතාවය, පසේ සහ ශාකවල ජෛව ක්‍රියාවලි සහ කෘෂිකාර්මික ක්‍රමවේද (නොහොත් පොහොර යෙදීම, ජල සම්පාදනය සහ ක්ෂද්‍රපෝෂක බහුල කිරීමේ ක්‍රම), අංශුමාත්‍ර මූලද්‍රව්‍ය සහල්වල ජෛවසාන්ද්‍රණය වීම කෙරෙහි බල පෑ හැක.

පරිභෝජනය කරන්නන්ගේ සෞඛ්‍යය පිළිබඳ ව අවධානය යොමු කරමින් පෝෂ්‍යදායී හා වස විසෙන් තොර සහල් වර්ග තෝරාගැනීම අතිශයින් ම වැදගත් වේ. එබැවින්, භෝජන රටාව හා සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ බහුල ව පරිභෝජනය කරන සහල් වර්ගවල අඩංගු අංශුමාත්‍ර මූලද්‍රව්‍ය (අත්‍යවශ්‍ය සහ විෂ සහිත) සාන්ද්‍රණයන් පිළිබද පුළුල් විමර්ශනයක් (2018-2019 කාලයේ දී) අප විසින් පවත්වන ලදී. මෙම තක්සේරු කිරීම සඳහා වැඩි දියුණු කරන ලද (සුදු නාඩු, සුදු නිවුඩු, සුදු නිවුඩු සම්බා, රතු නාඩු, රතු නිවුඩු, රතු නිවුඩු සම්බා, සම්බා හා කීරි සම්බා), සම්ප්‍රදායික (සුවඳැල්, කළුහීනටි, පච්චපෙරුමාන් හා මඩතුවාළු), ආනයනය කරන ලද (බාස්මතී හා සුවඳ සහල්) සහල් වර්ග තෝරා ගන්නා ලදී.

විශ්ලේෂිත කරුණු අනුව, සියලු ම සාම්ප්‍රදායික, ආනයනය කරන ලද සහ වැඩිදියුණු කරන ලද සහල් වර්ගවල ආසනික් අඩංගු වී ඇති බව හඳුනා ගත්ත ද (2018-2019 කාලයේ දී) ආනයනය කරන ලද සහ වැඩිදියුණු කරන ලද සහල් වර්ගවල ආසනික් සාන්ද්‍රණය FAO/WHO මඟින් අනුමත කර තිබෙන උපරිම සීමාව (0.2 mg/kg) ඉක්මවා නොගොස් තිබුණි. 2018 වසරේ දී සාම්ප්‍රදායික සහල්වර්ගවලින් 4.2% ක (නොහොත් කළුහීනටි) සහ වැඩිදියුණු කළ සහල්වලින් 2.1% ක (නොහොත් රතු නිවුඩු සම්බා) ආසනික් සාන්ද්‍රණය උපරිම සීමාව ඉක්මවා ගොස් තිබුණි. කෙසේ වෙතත් 2019 වසර වන විට සහල්වල අඩංගු විය හැකි ආසනික්, ඊයම්, කැඩ්මියම්, රසදිය, ක්‍රෝමියම්, නිකල් යනාදී විෂ සහිත මූලද්‍රව්‍ය කිසිවක් උපරිම සාන්ද්‍රණය ඉක්මවා නොගොස් තිබුණි.

මෙහි දී සාපේක්ෂ ව ඉහළ සාන්ද්‍රණවලින් විෂ සහිත මූලද්‍රව්‍ය අඩංගු සහල් වර්ග ලෙස වාර්තාගත වූයේ බාස්මතී (ආනයනය කරන ලද), සම්බා (වැඩිදියුණු කරන ලද) වැනි තම්බන ලද සහල් සහ කළුහීනටි, මඩතුවාළු, පච්චපෙරුමාන්, සුවඳැල් වැනි සාම්ප්‍රදායික සහල් වර්ග ය. එමෙන් ම අනෙකුත් සහල් වර්ගවලට වඩා රතු නිවුඩ්ඩ සහිත සාම්ප්‍රදායික සහල්වල යකඩ, සින්ක්, මැන්ගනීස් සහ කොපර් යන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ඉහළ සාන්ද්‍රණවලින් අන්තර්ගත විය.

2018 වසරේ දී කළුහීනටි සඳහා පමණක් ඇස්තමේන්තුගත මධ්‍යන්‍ය දෛනික ඊයම් පරිභෝජනය, අනුමත කළ හැකි තාවකාලික දෛනික පරිභෝජන අගය ඉක්මවා ගොස් තිබුණි. අධ්‍යනය කළ සහල් වර්ග අතරින් 2018, 2019 දෙවසර දී ම පච්චපෙරුමාන් සහල් වර්ගය නිර්දේශිත දෛනික යකඩ ප්‍රමාණය සඳහා වැඩි ම දායකත්වය ලබා දී තිබුණි. නිර්දේශිත දෛනික සින්ක් ප්‍රමාණය සඳහා වැඩි ම දායකත්වය ලැබී තිබුණේ 2018 වසරේ දී පච්චපෙරුමාන් සහ 2019 වසරේ දී සුවඳ සහල් වර්ගවලිනි.

අනුමත පරීක්ෂණ ක්‍රමවේදවලින් ලබාගත් නිරවද්‍ය දත්ත මඟින් ඉහළ ජනගහනයකින් යුත් ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ සහල්වල ගුණාත්මකභාවය පිළිබඳ දළ සාරාංශයක් ලබාගත හැක. තව ද මෙම තොරතුරු, අත්‍යවශ්‍ය සහ විෂ සහිත මූලද්‍රව්‍ය සාපෙක්ෂ ව ඉහළ සාන්ද්‍රණවලින් පැවතීම නිසා සාම්ප්‍රදායික සහල් වර්ග මඟින් මිනිසාගේ සෞඛ්‍යය කෙරෙහි ඇති කළ හැකි ධනාත්මක මෙන් ම ඍණාත්මක බලපෑම් පිළිබඳ ව ද අවබෝධයක් ලබා දෙයි. එම නිසා පරිභෝජකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ඇති, සහල් වර්ගවල විෂ සහිත මූලද්‍රව්‍ය පිළිබඳ ජාතික මාර්ගෝපදේශයන් නිරීක්ෂණයට හා නියාමනයට බලධාරීන්ට මෙම සොයාගැනීම් වැදගත් වේ.

මෙම අධ්‍යනයේ අවසන් ප්‍රතිඵලය කොළඹ විශ්ව විද්‍යාලයේ සහ ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනයේ සහයෝගී වෑයමකි. මෙය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් මහානාම මහතාගේ (රසායන විද්‍යා දෙපාර්ත්මේන්තුව, විද්‍යා පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය) සහ ආචාර්ය කුෂානි මහතන්තිල මහත්මියගේ (ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය) අධීක්ෂණය යටතේ ගයනි උදේෂිකා චන්ද්‍රසිරි මහත්මියගේ (පර්යේෂණ විද්‍යාඥ, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය)) MPhil/PhD උපාධියේ කොටසක් වශයෙන් පවත් වන ලද අධ්‍යනයකි. මෙහි දී ආචාර්ය පවිත්‍රා සංජීවනි පිටුම්පෙ ආරච්චිගේ මහත්මියට ද විශේෂ ස්තූතියක් පිරිනැමිය යුතු ය.