Menu Close

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංකේතයට ගෝලීය පිළිගැනීමක්

“අපි වී වගාවේ ඍතු විචලනයේ ධනාත්මක බලපෑමත් සමඟින්  ශ්‍රී ලාංකේය සහල් ප්‍රභේදවල නොදුටු පෝෂණ ගුණය ගවේෂණය කළෙමු"

සෑම පුද්ගලයෙක්ම වර්ධනය හා පැවැත්ම සඳහා පෝෂ්‍යදායී හා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගත යුතුය. නමුත් වර්තමානයේ විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ප්‍රධාන ආහාර වේලෙන් පෝෂණ ගුණයන් හෝ ආහාර අවශ්‍යතා අඩුවෙමින් පවතී.

සහල් යනු ශ්‍රී ලංකික වැසියන් වැඩිපුරම පරිභෝජනය කරන ධාන්‍ය වර්ගයයි. සහල්වල පෝෂණ සංයුතිය නිසා ශ්‍රී ලංකාවේ සහල් ප්‍රභේදවලට ගෝලීය පිළිගැනීමක් ලැබී ඇත. අනෙකුත් සියලුම පෝෂණ සංඝටක අතරින් ඛනිජ ලවණ, විවිධ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් පාලනය කරමින් මිනිස් සෞඛ්‍යයට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

සහල්වල වර්ධනයට සහ නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ පාංශු ගුණ, ජීව විද්‍යාත්මක තත්ත්වයන් සහ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ඇතුළු ජානමය සහ පාරිසරික සාධකයි. ශ්‍රී ලංකාවේ සහල් වර්ග ප්‍රධාන වගා කන්න දෙකක් තුල වගා කෙරේ: ඒවා නමින් මහ කන්නය සහ යල කන්නයයි. මහ කන්නය සැප්තැම්බර් සිට මාර්තු දක්වා ක්‍රියාත්මක වන අතර යල කන්නය මැයි සිට අගෝස්තු අග දක්වා ක්‍රියාත්මක වේ. වගා කාලවල මෙම විචලනයන් සමඟින් පරිසර උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාවය, ප්‍රභා කාලසීමාව (photoperiod), සූර්ය විකිරණ, සම්පූර්ණ වර්ෂාපතනය සහ ජලය ලබා ගැනීමේ හැකියාව වැනි විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ සහල් ප්‍රභේද වගා කෙරේ. මෙම පාරිසරික තත්ත්වයන්ගේ උච්චාවචනය කුඹුරුවල පාංශු ගුණාංගවල වෙනස් වීම්වලට බලපෑම් ඇති කළ හැකිය. එවිට, එය පසෙහි සිට වී පැල දක්වා ඛනිජ සහ විෂ සහිත බැර ලෝහ අවශෝෂණයට බලපානු ඇත. පසුව එය සහල්වල ඛනිජ සංයුතියේ වෙනසක් ඇති කරයි.

සහල්වල ඛනිජ සංයුතිය වෙනස් වීමට බලපාන තවත් ප්‍රධාන හේතුවක් වන්නේ නිෂ්පාදන අස්වැන්න වැඩි කිරීම සඳහා අකාබනික පොහොර සහ පළිබෝධනාශක යෙදීමයි. සහල් ඇටවල විෂ සහිත බැර ලෝහ එකතු වීම ප්‍රධාන වශයෙන් සිදු වන්නේ මෙම පොහොර යෙදීම් මගිනි.

එබැවින්, ඉහත සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, ඛනිජ සහ විෂ සහිත බැර ලෝහ පිළිබඳ පුළුල් පැතිකඩක් සංවර්ධනය කරමින් ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික සහ වැඩිදියුණු කරන ලද සහල් ප්‍රභේදවල ඛනිජ සහ බැර ලෝහවල සංයුතිය කෙරෙහි වගා සෘතුමය වෙනස්කම්වල බලපෑම විමර්ශනය කිරීම සඳහා මෙම පර්යේෂණ අධ්‍යයනය සිදු කරන ලදී.

මෙම විමර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ බතලගොඩ සහල් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කුඹුරුවල වගා කරන ලද තෝරාගත් පාරම්පරික සහ වැඩිදියුණු කළ සහල් ප්‍රභේදවල ඛනිජ සහ බැර ලෝහවල අන්තර්ගතය ICP-MS සහ UV-Visible spectrometry සමඟ ඒකාබද්ධ වූ අභ්‍යන්තර රසායනාගාර පරීක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් නිර්ණය කරන ලදී.

මෙම අධ්‍යයනයේ සාධනීය ප්‍රතිඵලයක් ලෙස, වගා සෘතු විචලනය හේතුවෙන් සහල් ප්‍රභේදවල ඛනිජ සහ විෂ සහිත බැර ලෝහවල සංචිතයේ සැලකිය යුතු බලපෑමක් ඇති විය. FAO/WHO මාර්ගෝපදේශ මගින් නියම කර ඇති උපරිම මට්ටම් සමඟ සැසඳීමෙන් පසු විශ්ලේෂණය කරන ලද සහල් වර්ග විෂ සහිත බැර ලෝහවල අඩු අවදානමක් ඇති බව තහවුරු විය. එපමණක් නොව, විශ්ලේෂණය කරන ලද සහල් ප්‍රභේද කැල්සියම්, මැග්නීසියම්, යකඩ, සින්ක්, පොස්පරස් ඇතුළු අත්‍යවශ්‍ය ඛනිජ වලින් පොහොසත් බවත් ඛනිජ ඌනතාවයන් වළක්වා ගැනීම සඳහා ජෛව ශක්තිමත් කිරීමකින් තොරව මෙම සහල් පරිභෝජනය කළ හැකි බවත් මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙයි. එබැවින් ශ්‍රී ලංකාවේ සහල් වර්ග අභිජනන ක්‍රියාවලීන් සඳහා ඛනිජ පොහොසත් ප්‍රභවයන් ලෙස භාවිතා කළ හැකිය.

මෙම අධ්‍යයනය කොළඹ විශ්වවිද්‍යාලය, කාර්මික තාක්ෂණ ආයතනය සහ බතලගොඩ සහල් පර්යේෂණ හා සංවර්ධන ආයතනය අතර සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් විය. මෙම අධ්‍යයනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් මහානාම (රසායන විද්‍යා දෙපාර්තමේන්තුව, විද්‍යා පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය) සහ ආචාර්ය සුදර්ශන සෝමසිරි (අතිරේක අධ්‍යක්ෂ ජනරාල් – කාර්මික සේවා, කාර්මික තාක්ෂණ ආයතනය)ගේ අධීක්ෂණය යටතේ ෂර්මිලා කරුණාරත්න මෙනෙවිය (පර්යේෂණ තාක්ෂණවේදි කාර්මික තාක්ෂණ ආයතනය) MPhil/PhD උපාධියේ කොටසක් ලෙස සිදු කරන ලදී.

ඉදිරි අධ්‍යයනයන් ලෙස, කන්න දෙකේදීම වගා කරන ලද සහල්වල ඛනිජ සංයුතියේ විචලනය සඳහා පාංශු සාධක බලපාන්නේද යන්න තීරණය කිරීම සඳහා වගා කරන ස්ථානවල පාංශු ගුණ සහ සහල්වල ඇති ඛනිජ අතර සහසම්බන්ධතා විශ්ලේෂණය සිදු කරනු ලැබේ.

 

යොමු:

Sharmila Karunarathna, Sudarshana Somasiri, Ranjith Mahanama., (2022 February 02). Seasonal variation on mineral profile in rice varieties of Sri Lanka. Journal of Food composition and analysis, 108(2022)104447, 1-7.

https://doi.org/10.1016/j.jfca.2022.104447

සටහන : ෂර්මිලා කරුණාරත්න

Translated By: Vidumini Alwis