Menu Close

ශ්‍රී ලාංකික අපනයන කෘෂිකර්මාන්තයේ හරිත අනාගතයක් උදෙසා

මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමනයත් සමග මිහිතලය මත මානව වර්ගයාගේ ආධිපත්‍ය පතුරවන්ට මිනිසා සමත් විය. කාර්මීකරණයේ ආරම්භය මානව ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂයක් ලෙස ගෙන හැර දක්වනවාත් සමගම එයින් සිදු වූ සංවර්ධනයත්, පාරිසරික බලපෑමත් සුළු පටු ලෙස දැකිය නොහැක. මිනිසාගේ මැදිහත් වීමෙන් වැඩි වර්ධනය වන්නාවූ හරිතාගාර වායු විමෝචනය ගෝලීය අර්බුදයක් වූ කාලගුණ විපර්යාසයන්ට තුඩු දුන් හේතු සාධකයක් බවට මේ වන විට පත් වී හමාරය. මිනිසා ගේ මැදිහත් වීමෙන් සිදු කරන ලද මෙම කාලගුණ විපර්යාසයන් සඳහා හේතු පාදක වන්නා වූ සාධකයන් රැසක් අතුරින් කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත කර්මාන්තයන් ගේ ප්‍රමුඛ බලපෑමක් දක්නට ලැබේ.  

දුරාතීතයේ පටන් ශ්‍රී ලංකිකයන් කෘෂිකර්මන්තය තම ජීවනෝපාය බවට පත් කරගෙන දිවි ගෙවූහ. යටත් විජිත සමයත් සමග වාණිජමය පරමාර්ථයන් යටතේ තේ (Camellia sinensis) සහ රබර් (Hevea brasiliensis) යන බෝගයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද අතර වර්තමානය වන විට මෙම බෝගයන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයන් බවට පත් වෙමින් විදේශිය ආදායම් මෙරටට ගෙන ඒමට සමත්ව ඇත. වාණිජමය වටිනකම් හේතුවෙන් තේ සහ රබර් වගාව මහා පරිමාණ වශයෙන් වර්තමානයේ ව්‍යාප්තව පවතී. කෙසේ වෙතත් මෙම වගාවන් ආශ්‍රිතව භාවිත වන්නාවූ පොසිල ඉන්ධන සහ විදුලිබල ශක්තිය හේතුවෙන් පරිසරයට එක්වන්නා වූ හරිතාගාර වායූන් පිළිබඳව සුළුකොට තැකිය නොහැක.  වර්තමානය වන විට තිරසාර පරිභෝජන මට්ටම් යටතේ හරිතාගාර වායූන් විමෝචනය අවමකිරීමෙහිලා ලෝකයේ අවධානය යොමු වෙමින් පවතී. මෙම කාරණාවන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ තේ සහ රබර් කර්මාන්තයන් ආශ්‍රිතව භාවිතයට ගන්නා ශක්ති ප්‍රභවයන් මගින් පරිසරයට එක් වන්නාවූ හරිතාගාර වායූන් පිළිබඳව ප්‍රමාණාත්මක සමීක්ෂණයක් සහ හරිතාගාර වායු විමෝචනය අවමකිරීමට ගත හැකි මිනුම් පිළිබඳව අධ්‍යනයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා සහ පාරිසරක විද්‍යා දෙපාර්තමෙන්තුවේ ආචර්ය ජගත්දේව විදානගම මහතා ඔහුගේ පශ්චාත් උපාධිය සඳහා මහාචාර්ය එරන්දතී ලොකුපිටිය මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.  

මහාචාර්ය එරන්දතී ලොකුපිටිය
සත්ව විද්‍යා හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව
විද්යා පීඨය

ආචාර්ය ජගත්දේව විදානගම
සත්ව විද්‍යා හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව
විද්යා පීඨය

මෙම අධ්‍යනයේ දී ආචාර්ය විදානගම මහතා Product Life Cycle Assessment (LCA) ක්‍රමවේදය භාවිත කරමින් මෙම කර්මාන්තයන් දෙක ආශ්‍රිතව සිදු වන්නාවූ හරිතාගාර වායූ විමෝචනය පිළිබඳව අධ්‍යනය කරන ලදී. නිෂ්පාදනයන් ගෙන් සිදුවන්නාවූ පාරිසරික බලපෑම අධ්‍යනය සඳහා  LCA  ක්‍රමවේදය වඩාත් උචිත ක්‍රමවේදයක් ලෙස දැක්විය හැකිය. මෙහිදී ඇති වන්නාවූ පාරිසරික බලපෑම නිෂ්පාදනයේ ජීවන චක්‍රය ට අදාලව මධ්‍ය ස්ථානය සහ අවසාන ස්ථනය වශයෙන් දැක්විය හැකිය. මෙම අධ්‍යනයේ දී cradle-to-gate emissions එනම්, වගාව ආරම්භයේ සිට කර්මාන්තශාලාවෙන් අවසන් වීම දක්වා ක්‍රියාවලියේ දී විමෝචනය වන හරිතාගාර වායූන් පිළිබඳව අවධානය යොමු කරන ලදී. 

ඈත අතීතයේ පටන්  ශ්‍රී ලංකාව ප්‍රමුඛපෙලේ තේ නිෂ්පාදකයන් බවට පත් වෙමින් “Ceylon Tea” යන වෙළඳ නාමය යටතේ ලොව පුරා අවධානයට ලක් වි ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක  14   ක් තුළ තේ වගාව සිදු කරන අතර රාජ්‍ය අංශයේ වැවිලි සංස්ථා, පෞද්ගලික අංශයේ ප්‍රාදේශීය වැවිලි සංස්ථා, කුඩා පරිමාණ තේ වතු හිමියන් සහ ව්‍යවසායකයන් තේ වතු පාලනය කරනු ලබයි. වැවිලි ආයතනයන් මගින් පාලනය කරනු ලබන තේ වගාවන් පිළිබඳව මෙහි දී අධ්‍යනය කරන ලදී. තේ වගා කිරීමේ දී, තේ කොළ ප්‍රවාහනයේ දී, තේ සැකසීමේදී සහ ඇසුරුම් කිරීමේ දී භාවිතයට ගන්නා වූ ශක්ති ප්‍රභවයන් ගෙන් සිදු වන්නා වූ හරිතාගාර වායු විමෝචනය මෙම අධ්‍යනයේ දී ගණනය කරන ලදී.  හඳුනාගත් ශක්ති ප්‍රභවයන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාවන් පහත පරිදි දැක්විය හැකිය.

වගුව 1 : ශක්ති ප්‍රභවයන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්

වධිය ශක්ති ප්‍රභවය ආශ්‍රිත ක්‍රියාකාරකම්
තේ වගා කිරීම විදුලි බලශක්තිය වතු කාර්යාල , බංගලා සහ පරිපාලන කටයුතු සඳහා
ඩීසල් සහ පෙට්‍රල් බිම් සැකසුම් සහ තේ කොළ එකතු කිරීමේ කටයුතු සඳහා
තේ කොළ ප්‍රවාහනය ඩීසල් තේ සැකසුම් කර්මාන්තශාලා වෙත තේ කොළ ප්‍රවාහනය සඳහා
තේ සැකසීම විදුලි බලශක්තිය යන්ත්‍ර සූත්‍රය ක්‍රියකාරිත්වය සඳහා
ඩීසල් ජෙනරෙටර සහ ජෛව ස්කන්ධ ප්‍රවාහනය සඳහා
ජෛව ස්කන්ධ තාප ශක්තිය උත්පාදනය සඳහා

මෙහිදී 2012 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා ඌව ප්‍රදේශයේ ඉතා ඉහල වර්ධනයක්, මධ්‍යම වර්ධනයක් සහ අඩු වර්ධනයක් සහිත තේ වගාවන් ගෙන් සිදු වන්නා වූ හරිතාගාර වායු විමෝචනයට අදාල දත්තයන් එක් රැස් කර ගන්නා ලදී.  

ප්‍රමිතියෙන් උසස් ස්වභාවික රබර් සහ වටිනාකම් එක්කල රබර් නිෂ්පාදන නිපදවීමෙහි ලා ශ්‍රී ලංකාව සුවිශේෂී ස්ථානයක් දරා ඇත.  මෙම අධ්‍යනයේ දී පහත සඳහන් රබර් නිපැයුම් කෙරෙහිද අවධානය යොමු කරන ලදී.

අමු රබර් භාවිතයෙන් සිදු කරන්නා වූ නිෂ්පාදන

  • ක්‍රේප් රබර් සහ දුම් ගැසූ රබර් ෂීට්
  • අධි සාන්ද්‍රිත රබර් කිරි
  • තාක්ෂණිකව සුවිශේෂී වූ රබර්

වටිනාකම් එක්කල රබර් නිෂ්පාදන

  • අධි සාන්ද්‍රිත රබර් කිරි ආශ්‍රිත නිෂ්පාදන
  • වියළි රබර් ආශ්‍රිත නිෂ්පාදන  

මෙහිදී වගා සමාගම් රබර් වගා කිරීමේ දී, රබර් කිරි ප්‍රවාහනයේ දී, අතරමැදි රබර් නිෂ්පාදන නිපදවීමේ දී සහ වටිනාකම් එක්කල රබර් නිෂ්පාදන නිපදවීමේදී භාවිතයට ගන්නා වූ ශක්ති ප්‍රභවයන් මගින් විමෝචනය වන්නා වූ හරිතාගාර වායූන් පිළිබඳව සලකා බලන ලදී. එක් එක් අවධියේ දී භාවිතයට ගන්නා වූ ශක්ති ප්‍රභවයන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරම් පහත දක්වා ඇත.  

වගුව 2 : ශක්ති ප්‍රභවයන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්

අවධිය ශක්ති ප්‍රභවය ආශ්‍රිත ක්‍රියාකාරකම්
රබර් වගා කිරීම ඩීසල් සහ පෙට්‍රල් බිම් සැකසීම, මධ්‍යගත ටැංකිය වෙත රබර් කිරි එකතු කිරීම සහ අනෙකුත් ප්‍රවාහන කටයුතු සඳහා
විදුලි බලශක්තිය වතුයායේ කාර්යාල සහ බංගලා සඳහා
රබර් කිරි ප්‍රවාහනය ඩීසල් අමු රබර් සැකසුම් මධ්‍යස්ථාන කරා රබර් කිරි ප්‍රවාහනය
සැකසුම් කිරීම විදුලි බලශක්තිය සැකසුම් මෝල් සඳහා
ඩීසල් ජෙනරේටර සඳහා
ජෛව ස්කන්ධ තාප ශක්තිය උත්පාදනය සඳහා
වටිනාකම් එක්කල රබර් නිෂ්පාදන නිපදවීම සඳහා විදුලි බලශක්තිය ද්‍රව්‍ය හැසිරවීම සඳහ
  ඩීසල් අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු, ජෙනරේටර, තාප ශක්තිය නිපදවීම සහ කර්මාන්තශාලා වෙත ජෛව ස්කන්ධ ප්‍රවාහනය සඳහා
  ඉන්ධන තෙල් තාප ශක්තිය නිපදවීම සඳහා
  ජෛව ස්කන්ධ තාප ශක්තිය නිපදවීම සඳහා

2012 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා අඛණ්ඩව වසර තුනක කාලයක් කළුතර, කොළඹ, කෑගල්ල, බදුල්ල, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් හි වූ වගා බිම් සහ කර්මාන්තශාලාවන් ගෙන් දත්තයන් රැස්කර ගන්නා ලදී. මෙම අධ්‍යනයේ දී සැකසූ තේ මෙට්‍රික් ටොන් එකක ප්‍රමාණය තේ අංශයට අදාලව  කෘත්‍යමය ඒකකය ලෙස සලකන ලද අතර වියළි රබර් මෙට්‍රික් ටොන් එකක ප්‍රමාණය රබර් අංශයේ කෘත්‍යමය ඒකකය ලෙස සලකන ලදී. කාබන්ඩයොක්සයිඩ් (CO2) , මීතේන් (CH4) සහ ඩයිනයිට්‍රජන් ඔක්සයිඩ් (N2O) ගණනය කිරීම් සඳහා සලකන ලද හරිතාගාර වායූන් වේ.  සලකන ලද ක්‍රියාවලි අවධි යටතේ භාවිත කළ ශක්ති ප්‍රභවයන් මගින් සිදුවන මෙම හරිතාගාර වායු විමෝචනය වෙන් වෙන් වශයෙනුත් ගෝලීය උණුසුම ඉහළ යාමේ හැකියවන් භාවිත කරමින් කාබන්ඩයොක්සයිඩ් සමනුපාතික අගයක් (CO2e) ලෙසත් එක් එක් හරිතාගාර වායූන් සඳහා දක්වන ලදී. තවදුරටත්  වගාවන් සඳහා පංශුමය කාබන් සංචිතය සහ ජෛව ස්කන්ධයන් හි කාබන් රඳවා ගැනීම ප්‍රධාන හරිතාගාර  වායු ප්‍රභවය ලෙස සලකන ලදී.

පහත සඳහන් කර ඇති සුවිශේෂී කරුණු තේ වගාවන් අධ්‍යනයෙන් ලබා ගත් ප්‍රතිඵල ඇසුරෙන් ගොඩනැංවූවක් වේ.

රූප සටහන 1: තේ නිපදවීමේ දී ශක්ති ප්‍රභවයන් සහ එක් එක් අවධීන්ට අදාලව හරිතාගාර වායු විමෝචනය

  • ශක්තීන් සම්බන්ධ විශාලතම හරිතාගාර වායු විමෝචනය  සිදුවන්නේ තේ කොළ සැකසීමේ අවධියේ දී බවට වාර්තා වී ඇත. 
  • සියලු ප්‍රදේශය අතුරින් ශක්තිය භාවිත කිරීමේ දී උපරිම සහ අවම වශයෙන් හරිතාගාර වායූන් විමෝචනයට දායක වී ඇත්තේ පිළිවෙලින් උපරිම වර්ධන සහ අවම වර්ධන ප්‍රදේශ වලය.
  • ප්‍රධාන ශක්ති ප්‍රභවය ලෙස විදුලි බලය දක්වා ඇති අතර එයින් හරිතාගාර වායු විමෝචනය සඳහා වන දායකත්වය සියලුම විමෝචන ආකාර වලින් 63% වඩා අධික වේ.  

රබර් වගාවන් පිළිබඳව සලකා බැලීමේ දී වටිනකම් එක් කල රබර් නිෂ්පාදනයේ දී සිදුවන හරිතාගාර වායු විමෝචනය  රබර් වගා කිරීමේ දී සහ අමු රබර් සැකසීමේදී විමෝචනය වනවාට වඩා අධික බව සොයා ගෙන ඇත. තේ සහ රබර් අංශයන්හි ශක්තීන් භාවිතයේ දී සිදුවන හරිතාගාර වායූන් විමෝචනය සැසඳීමේ දී නිෂ්පාදන වර්ග හතරක් සලකන ලදී. එනම් සැකසූ තේ, ක්‍රේප් රබර්, රබර් කිරි මූලික කර ගත් වටිනාකම් එක් කල රබර් නිෂ්පාදන සහ වියළි රබර් මූලික කර ගත් වටිනාකම් එක් කල රබර් නිෂ්පාදන. තේ සහ රබර් නිෂ්පාදන අංශයන් ගෙන් අධික හරිතාගාර වායු විමෝචනයක් වටිනකම් එක් කල රබර් නිෂ්පාදනය සඳහාත් අංශ දෙකෙන්ම විදුලි බලය ප්‍රධාන හරිතාගාර වායු විමෝචක ශක්ති ප්‍රභවය ලෙසත් සොයා ගන්න ලදී.   

රූප සටහන 2: තේ සහ රබර් නිෂ්පාදනයේ දී භාවිතයට ගන්නා ශක්තීන් මගින් සිදු වන්නා වූ හරිතාගාර වායු විමෝචනයන් සැසදීම

මෙම පර්යේෂණයෙන් අනාවරණය කර ගත් ඉතාමත් වැදගත් ප්‍රතිඵලය වන්නේ තේ සහ රබර් අංශයන් දෙකෙහි දීම ජෛව ස්කන්ධ සහ පාංශු කාබන් වෙන් කිරීමේදී සිදුවන හරිතාගාර වායු විමෝචන ශීඝ්‍රතාව ශක්ති ප්‍රභව භාවිතයෙන් සිදුවන විමෝචනයට වඩා වැඩි බවයි.    

මෙම අධ්‍යනයන් මගින් අනාවාරණය කරන්නේ ශ්‍රි ලංකාවේ කාබන් උදාසීන සහ කාබන් නොමැති නිෂ්පාදන නිපදවීම නිසැකවම වාණිජමය වශයෙන් වාසිදායක වන බවයි.  තවදුරටත් ආචාර්ය විදානගම සහ මහාචාර්ය ලොකුපිටිය මෙම කර්මාන්තයන් ආශ්‍රිත වූ හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට ගත හැකි පියවර පහත පරිදි සඳහන් කරයි. 

  • ශක්ති කළමනාකරණ ක්‍රම භාවිතයෙන් ශක්ති කාර්යක්ෂමතාව වර්ධනය කිරීම.
  • තාක්ෂණික ක්‍රමවේද භාවිතය.
  • ක්‍රියාවලීන් වලදී පුනර්ජනනීය බල ශක්ති භාවිතය

වැදගත් කරුණක් වශයෙන් මෙම පර්යේෂණය කාලගුණ විපර්යාසයන් සහ ඒ සඳහා පහත අංශයන් යටතේ නිෂ්පාදකයන් ගේ බලපෑම  පිළිබඳ නීති සැකසීමේ දී මනා වූ පිටිවහලක් සපයන්නක් ලෙස දැක්විය හැකිය.

  • පැරිස් ගිවිසුමෙහි 6 වන වගන්තිය යටතේ අන්තර්ගත පවතින (පිරිසිදු සංවර්ධන යාන්ත්‍රණය (CDM) සහ ශ්‍රී ලංකා කාබන් ණය යෝජනා ක්‍රමය) සහ අනාගත කාබන් වෙළඳපොල
  • ජාතික වශයෙන් තීරණය කළ දායකත්ව (NDCs) යටතේ විමෝචන ඉලක්ක සැකසීම
  • වැවිලි අංශය සඳහා වායු විමෝචන වෙළඳ පද්ධතියක් (ETS) සංවර්ධනය කිරීම
  •  ITMOs සංවර්ධනය කිරීම
  • නව දේශගුණික තාක්ෂණයන් ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තරව පවතින දේශගුණ මූල්‍යකරණ අවස්ථා ලබා ගැනීම.
  • තේ සහ රබර් නිෂ්පාදන සඳහා හරිතාගාර වායු විමෝචන මිණුම් සලකුණු සැකසීම.
  • වතුකරයේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ ක්‍රියා අධීක්ෂණය, වාර්තා කිරීම සහ සත්‍යාපනය ස්ථාපිත කිරීම. 

මුළු ලෝකයම දේශගුණය කෙරෙහි අවධානය යොමු කර ඇති යුගයක මෙම පර්යේෂණය ඉතාමත් සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සාධනීයව බලපෑම් කල හැකි ශ්‍රී ලංකාවේ අපනයන කෘෂිකර්මය පදනම් කරගත් නිෂ්පාදන පිළිබඳ ඉතා වැදගත් සොයාගැනීම් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර වෙළඳපොලෙහි ශ්‍රී ලංකාවට හිමි නිසි තැන ලබා ගැනීමට මහඟු පිටිවහලක් සපයයි.

තවදුරටත් මෙම පර්යේෂණ කණ්ඩායම මෙම පර්යේෂණය සාර්ථක කර ගැනීම උදෙසා ඉමහත් දායකත්වක් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව සහ පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුව වෙතත්, ශ්‍රි ලංකා පර්යේෂණ සභාව, තේ සහ රබර් පර්යේෂණ ආයතන සහ තේ, රබර් වතු හා ඒ ආශ්‍රිත කර්මන්තශාලා වල කළමණාකාරීත්වය සහ කාර්යමණ්ඩල සාමාජිකයන් වෙත තම කෘතවේදී ස්තූතිය පල කර සිටි.

Reference: 

Vidanagama, J., & Lokupitiya, E. (2018). Energy usage and greenhouse gas emissions associated with tea and rubber manufacturing processes in Sri Lanka. Environmental Development, 26, 43–54. https://doi.org/10.1016/j.envdev.2018.03.006 

For further information- https://www.sundaytimes.lk/211003/news/first-ever-study-to-gauge-the-carbonfootprint-from-energy-use-in-tea-production-457186.html

Written by:  E .A නිමේෂා මධුෂානි එදිරිසිංහ